BREAKING NEWS

විමල්- ගම්මන්පිල ජාතික වගකීම පැහැර හරිති.



අරගලය කොයිබටද?

විමල්- ගම්මන්පිල ජාතික වගකීම පැහැර හරිති.


නිදහසින් පසුව අප මාතෘ භූමිය මුහුණ දෙන බරපතලම ආර්ථික අර්බුදය හමුවේ පීඩාවට හා අසහනයට පත් අසරණ ජනතාව දඩමීමා කරගෙන ව්‍යාජ නිර්පාක්ෂික අරගලයේ සැබෑ නිරුවත හෙළි වෙමින් පවතී.


දින දහයකට ආසන්න වෙමින් පවතින ඊනියා අරගලය පසුගිය දින කිහිපය තුළ ක්‍රියාත්මක වු ආකාරය විවෘත මනසකින් යුතුව විමසිල්ලට ලක් කරන ලෙස රට වැසියන් ගෙන් ඉල්ලා සිටිමු.


"ගෝඨා ගෝ හෝම් " සටන් පාඨය හුදෙක් ගෝඨාභය රාජපක්ෂ නැමැති පුද්ගලයාට එරෙහිව ගොඩනගන්නක් නොව ගෝඨාභය බලයට පතකල ජාතික බලවේග වලට එරෙහිව ගොඩනගන්නක් බව පැහැදිලිය.


යහපාලනය නමින් පෙනී සීටී දුර්දාන්ත පාලනය බලයට පත්කිරීම සදහා පෙනී සිටි සියලුම බලවේග ව්‍යාජ නිර්පාක්ෂික වේශයකින් පෙනී සිටින බව හොඳින් පැහැදිලි ය.

ඊනියා ගෝල්ෆේස් සැණකෙළියට සහභාගී වන්නන්, පහසුකම් සපයන්නන් හා උඩගෙඩි දෙන්නන් ජනතාව ඉදිරියේ නිරුවත් වෙමින් සිටී.


රටට එරෙහි බෙදුම්වාදී මිල මුදල් මත යැපෙන රාජ්‍ය නොවන සංවිධාන, අන්තවාදී ආගමික සංවිධාන හා පුද්ගලයන්, සංගීතානුසාරයෙන්  අන්‍යාගමික කරනය පැතිරවු පූජකයන්,

 ජාතික වගකීමට වඩා ජනප්‍රියත්වය හබායන කලාකරැවන් හා ක්‍රිඩකයන් ඒ අතර වෙති.


 ජනතා පීඩාව හරහා ගොඩනැගු ගෝල්ෆේස් විරෝධයට සමාන්තර ලොව පුරා ඩයස්පෝරාවේ විරෝධතා පමණක් නොව රට බෙදා ඊළම බිහිකරන ලෙස ඉල්ලා සිටින රථ පෙළපාළද ආරම්භ වී ඇත.


ගෝල්ෆේස් ෆේස් භූමිය ඩිජිටල් තාක්ෂණයෙන් වර්ණවත් වී "ගෝඨා ගෝ හෝම් "සටන් පාඨය දර්ශනය වෙයි. ඊළග සටන් පාඨය ලෙස දර්ශනය වන්නේ "එක්සත් ශ්‍රි ලංකාවක් "යන සටන් පාඨයයි.

දෙමළ බසින් ජාතික ගීය ගෝල්ෆේස් පිටියේ ගැයෙද්දි කුස පුරවන්න බුරියානි වටලප්පන්  පමණක් නොව නොතෙමී සිටින්නට කුඩ වැහි කබා එන්නේ කොහෙන්දැයි සොයා බලන ලෙස වගකිව යුත්තන්ගෙන් හා ජනතාවගෙන් ඉල්ලා සිටිමු.


රට විරුවන් ඇස් ඉස් මස් ලේ පමණක් නොව තම ජීවිත පරිත්‍යාග කොට රැකගත් මාතෘ භූමියත්  ජනතාවත් ප්‍රජාතන්ත්‍රවාදයත් ඉතිහාසයේ බරපතලම අනතුරු දායක මොහොතට මුහුණ දෙමින් සිටී.


එහෙත් මේ අනතුරු හමුවේ අපේ ජාතික බලවේග නිහඩව සිටිමින් විජාතික බලවේග සමග ඇති වැල් බැඳ ගෙන ද යන සැකය ජනතාව තුළ මතුවන්නට පටන් ගෙනය.


එදා හඩදුන් ජාතික බලවේග, විමල් - ගම්මන්පිල රටත් ජාතියත් මුහුණ දෙන භයානක තත්ත්වය හමුවේ පුද්ගලික කෝන්තර මත කටයුතු කිරීම කනගාටු දායක ය.

මේ මොහොතේ සිදු කළ යුත්තේ "ඇමරිකානුවාගේ මුහුණේ හැඩබැලීම" හෝ ඩයස්පෝරාවේ සටන් පාඨය වන "මහින්ද රාජපක්ෂ ගෙදර යවන්න" කටයුතු කිරීම නොව මවිබිම රැකගැනීම සඳහා කොන්දේසි විරහිතව අතිවැල් බැද ගැනීම ය.

එසේම ජාතික වගකීම පසෙකලා පුද්ගලික මතිමතාන්තර හෝ න්‍යාය පත්‍රයට කටයුතු කල පුද්ගලයින් ට හිමි වන්නේ ඉතිහාසයේ කුණු බක්කිය බව සියලු දෙනාටම මතක් කීරීමට කැමැත්තෙමු.

එවන් අවස්ථාවලදී බලලෝභී දේශද්‍රෝහීන්  

සිටි වගත් ඔවුනට ජනතාව ලබා දුන් ඉරණමත් පිළිබඳව ඉතිහාසය සාක්ෂි දරයි.


පටු වාද බේද අමතක කොට මාතෘ භූමියේ නාමයෙන් සමගිව අත්වැල් බැඳ ගන්නා ලෙසත්, සියලුම නායකයින්ගෙන් හා දේශප්‍රේමී ජනතාවගෙන් ඉල්ලා සිටිමු.


සුගත් හේවාපතිරණ.

නායක.

දේශප්‍රේමී එක්සත් ජාතික පක්ෂය.

Share this:

Post a Comment

 
Copyright © 2022 Al Jazeera Lanka. Template Designed by Themes - Videopiar