( මිනුවන්ගොඩ - අයි.ඒ. කාදිර් ඛාන් )
දිවයිනේ සියළුම රජයේ මුස්ලිම් පාසල්වල තෙවැනි වාරය, සැප්තැම්බර් මස 11වැනි සඳුදා ආරම්භ කිරීමට නියමිත බව, අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.
සැප්තැම්බර් මස 02 වැනි දාට (සෙනසුරාදා) යෙදෙන හජ්ජි අවුරුදු උත්සවය හේතුවෙන්, එම නිවාඩු දිනය සංශෝධනයක් කර ඇති බව, අධ්‍යාපන අමාත්‍යංශයේ මුස්ලිම් පාසල් සංවර්ධන ශාඛාවේ අධ්යක්ෂ ඉසඩ්. තාජුදීන් මහතා පැවසීය.
ඒ අනුව, සියළුම මුස්ලිම් පාසල්වල ට දෙවැනි පාසල් වාරයේ දෙවැනි අදියර සඳහා, 18 වැනි දා සිට ලබා දීමට තිබූ නිවාඩුව අවලංගු වන අතර, ඒ වෙනුවට මේ මස 31 වැනි දා සිට සැප්තැම්බර් මස 08 වැනි දා දක්වා නිවාඩු ලබා දීමට අමාත්‍යංශය තීරණය කර ඇති බවත් ඔහු කීවේය.
දිවයිනේ සියළුම මුස්ලිම් පාසල්වල ට දෙවැනි පාසල් වාරයේ අදියර දෙකක් යටතේ නිවාඩු ලබාදීම සිදු වන අතර, එහි පළමු අදියර, පසුගිය මැයි මස 27 වැනි දා සිට ජූනි මස 27 වැනි දා දක්වා, රමලාන් (නෝන්බි) උපවාස මාසය වෙනුවෙන්, අධ්‍යාපන අමාත්‍යංශය විසින් නිවාඩු ලබා දී තිබුණි.
එහෙත්, සෑම වසරේම මුස්ලිම් පාසල් පවත්වන දින ගණන හා සිංහල - දමිළ පාසල් පවත්වන දින ගණන අතර කිසිම වෙනසක් නැති බවත්, එම මහතා වැඩි දුරටත් විශේෂයෙන් සඳහන් කළේය.
( අයි. ඒ. කාදිර් ඛාන් )
Post a Comment