BREAKING NEWS

මුස්ලිම් ආගමික හා ව්‍යාපාරික මධ්‍යස්ථානවලට එල්ල වූ ප්‍රහාර පිළිබඳ වාර්තාව



(2017 අප්‍රේල් 15 සිට මැයි 24 දක්වා)

ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය

දිවයිනේ ප්‍රදේශ ගණනාවක මුස්ලිම් දේවස්ථාන, ව්‍යාපාරික ස්ථාන ඉලක්ක කර ගනිමින් පසුගිය මාසයක කාලයක පුරා ප්‍රහාර ගණනාවක් එල්ල වී ඇත.

2012-2014 අතර කාලයේ දී ද, මුස්ලිම් වාර්ගික කණ්ඩායම් හා ව්‍යාපාරික ස්ථාන ඉලක්ක කොට මෙවැනිම ප්‍රචණ්ඩක්‍රියා දිවයිනේ තැන තැන වාර්තා විය. අලුත්ගම දී ඇති වූ වාර්ගික ගැටුම් එහි කූට ප්‍රාප්තිය විය. එදා සිදු වූ ආගමික ප්‍රචණ්ඩ ක්‍රියාවන් හා සැසදීමේ දී මේ දක්වා වාර්තා වී ඇති ප්‍රචණ්ඩක්‍රියා වඩාත් සංවිධානාත්මක බව පෙනී යයි. මහින්ද රාජපක්ෂ රජය සමයේ දී මෙන්ම 'යහපාලන රජය' යටතේ ද, වෛර භාෂාව පැතිරවීම හා ප්‍රහාර සිදු කරන පුද්ගලයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොවීම කැපී පෙනේ.

ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය ආගමික නිදහස සම්බන්ධයෙන් පුරවැසියන් සතු අයිතිය සුරක්ෂා කළ යුතු බව දැඩිව අවධාරණය කරයි. ආගම විශ්වාසයන් හේතුවෙන් පීඩාවට පත් නොවී සිටීමටත්, ගැටුම්වලින් ආරක්ෂාවීමටත් සෑම පුරවැසියෙකුටම අයිතියක් ඇත. අපරාධකරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමත්, බිය සැක දුරු කිරීමත් රජයේ වගකීමකි. කාලීන අවශ්‍යතාවයකි.

කතෝලික නොවන ක්‍රිස්තියානි ආගමිකයින්ගේ දෙනියාය, ඉංගිරිය , දෙවුන්දර, වව්නියා දේවස්ථාන/මධ්‍යස්ථාන කිහිපයක් වෙත ද, පසුගිය දින 40 තුල ප්‍රහාර එල්ලවී ඇත. 'බහුතරය විසින් සුළුතරය මත බිය මානසිකත්වයක් ඇති කිරීමේ ස්වභාවයක්' මෙම ක්‍රියාවලිය තුල පවතී.

දේපල අලාභ කිරීම්, අත් බෝම්බ, ගිණි තැබීම්, තර්ජනය කිරීම්, අයුතු ජන රාශිය, වෛරය පැතිරවීම මුස්ලිම් ජාතිකයින් ඉලක්ක කොට සිදු වූ ප්‍රචණ්ඩක්‍රියා අතර මූලික වේ.

සිවිල් ක්‍රියාකාරීත්වය

මහින්ද රාජපක්ෂ රජය සමයේ දී ආගමික හිංසාවන් සිදු වන විට සිවිල් සමාජය ක්ෂණිකව එයට පිළිතුරු දී මැදිහත් විය. නමුත්, සිංහල-දෙමළු අලුත් අවුරුදු නිවාඩුවෙන් පසුව මසකට වැඩි කලක් ක්‍රමිකව, අඛණ්ඩව හා ප්‍රචණ්ඩත්වයේ ස්වරූපය සාහසික වන තෙක්ම, එම සිදුවීම් හෙළා දැකීමට හෝ සංවිධානාත්මක ලෙස එයට විරෝධය පළ කිරීමට සිවිල් සංවිධාන ඉදිරිපත් නොවීම කැපී පෙනුනි.

ශ්‍රී ලංකාව පුරා ආගම පදනම් කොට ගෙන වෛරී ආකල්පයන් පැතිරෙමින් යන අවස්ථාවක සෑම ආගමිකයින්ගේම නිදහස හා ආරක්ෂාව තහවුරු කිරීම රජය සතු ප්‍රමුඛ වගකීමක් බව ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය අවධාරණය කරයි.

මුස්ලිම් ආගමික මධ්‍යස්ථාන හා ව්‍යාපාරික ස්ථාන වලට පහරදීම්
(2017 අප්‍රේල් 16 සිට මැයි 24 දක්වා )

2017.04 16 අකුරැස්ස, ගොඩපිටිය පෝරුව හි මුස්ලිම් ජාතිකයින්ට අයත් කඩ 4 කට පෙට්‍රල් බෝම්බ ප්‍රහාර එල්ල කොට ඇත. ජනමාධ්‍ය මගින් මෙම සිදුවීම වාර්තා කර නැත. පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් ක්‍රියා කර නැත.

2017.04.16 ගාලු කොටුවේ අධි ආරක්ෂිත කලාපයේ පිහිටි Sheik Salih Waliyulla Shrine හි තාප්පය/වැට ට අලාභ හානි කොට ඇත. හමුදා කදවුර ඉදිරිපිට මෙය පිහිටා ඇත. සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන නැත.

2017.04. 20 අම්පාර ඉරගම හි අක්කර 2 1/2 ක ඉඩමක් භික්ෂුවක් විසින් මෙහෙයවූ කණ්ඩායමක් විසින් අත්පත් කොට ගෙන ගොඩනැගිල්ලක් සෑදීමට උත්සහ දරා ඇත. ප්‍රදේශයේ නොසන්සුන්තාවයක් ඇති වී තිබේ.

2017.04.25 බොදුබල සේනා කණ්ඩායමේ නායක ගලබොඩඅත්තේ හිමි අම්පාර ඉරගම සංචාරය කළ අතර ප්‍රාදේශීය ලේකම්වරයා ඉදිරිපිට දී මුස්ලිම් ජනතාවට අසභ්‍ය වචනයෙන් බැන වැදුණි. ජනමාධ්‍ය වාර්තා කළේ බොදුබල සේනාව ලංකාවේ අලුතෙන් බෞද්ධ විහාර 10,000 ක් සෑදීමට සැලසුම් කරන බවයි.

2017.05.08 ශ්‍රී ලංකා මුහුදු සීමාවේ දී අත්අඩංගුවට ගනු ලැබූ සියළු Rohingya Muslims වරුන් ලංකාවෙන් පිටමන් කරන ලද ගලබොඩඅත්තේ හිමි රජයෙන් ඉල්ලා සිටි අතර ඔහු පුවත්පත් සාකච්ඡාවක දී ප්‍රකාශ කළේ මුස්ලිම්වරුන් ලංකාව අල්ලා ගැනීමට කටයුතු කරන බවයි.

2017.05.10 අම්පාර ඉරගම මුස්ලිම් ජනාවාසයක් වන මයක්කාලි හි දී පොලිස් ආරක්ෂාව සහිතව වෙසක් දින සැමරුමක් සිදු කරනු ලැබීය.

2017.05.14 පොලොන්නරුව, ඔනේගම සංචාරය කළ ගලබොඩඅත්තේ හිමි මුස්ලිම් ජාතිකයින්ගේ හරක් මඩු කිහිපයට අලාභ කොට 'අල්ලා' ට එරෙහිම අසභ්‍ය සහ අපහාසාත්මක වචන භාවිත කරමින් පරිභව කිරීම.මෙම පරිභව කිරීම හිරු ටීවී නාලිකාව විසින් ප්‍රචාරය කළේය.

2017.05.15 පානදුර පරණ බසාර් විදීයේ මුස්ලිම් පල්ලියට අලුයම 3 ට පමණ පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් එල්ල වී ඇත. ප්‍රහාරය පිළිබදව කිසිවෙකුත් අත්අඩංගුවට ගෙන නැත.

2017.05.16 දින වැල්ලම්පිටිය, කොහිලවත්ත, Al Ibraheemiya ජුම්මා මුස්ලිම් පල්ලිය ට අලුයම 1.45 ට පමණ ප්‍රහාරයක් එල්ල වී ඇත. කිසිදු සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන නැත.

2017.05.16 දින ත්‍රිකුණාමය තෝපූර්, නීනක්කානි හි 200 ක පමණ පිරිසක් ආයුධ සහ පොලු යොදා ගනිමින් නිවාස 16 කට පහර දී ඇත. ප්‍රහාරය හේතුවෙන් බිය වූ පිරිස් ප්‍රදේශයෙන් ඉවත්වී ඇත.

2017.05.16 බොදු බල සේනා කාර්‍යාලයේදී පැවැති මාධ්‍ය හමුවකදී මුස්ලිම් ජනතාවට සහ ඉස්ලාම් ආගමට එරෙහිව වෛරී සහගතව අදහස් ප්‍රකාශ කළ අතර, මුස්ලිම්වරුන්ගේ දෙවියන්ට අපහාස කර යළි අදහස් ප්‍රකාශ කර තිබුණි.

2017.05.17 දින පානදුර, ඔළුවිල මුස්ලිම් ජාතිකයෙකුට අයත් බේකරියක් හා සන්නිවේදන මධ්‍යස්ථානයකට පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් එල්ල වී ඇත.
2017.05.18 හලාවත, දී අලුයම 2 ට පමණ 'ලාස්ට් චාන්ස්' විදුලි භාණ්ඩ අලෙවි සැලකට ගිණි තබා ඇත.

2017.05.21 මල්ලවපිටිය ජුම්මා මුස්ලිම් පල්ලියට පෙට්‍රල් බෝම්බ 6කින් ප්‍රහාර එල්ල කර තිබේ. නමුත් පොලීසිය කිසිවෙකුත් අත්අඩංගුවට ගෙන නොමැත.

2017.05.21 ගාල්ල, ඇල්පිටිය නගරයේ තිබූ 'ලවර්ස් බග්' වෙළෙදසැලක් ගිණි තබා ඇත.පොලිසිය මේ වනතෙක් කිසිදු සැකකරුවෙක් අත් අඩංගුවට ගෙන නොමැත.

2017.05.23 රත්නපුර දිස්ත්‍රක්කයේ කහවත්ත නගරයේ පිහිටි මුස්ලිම් සහ දෙමළ ජාතිකයින්ට අයත් වෙළඳ සැල් දෙකකට ගිණිතබා ඇත.

2017.05.22 මහරගම, විජේරාම හි දී මුස්ලිම් ජාතිකයෙකු සතු කාපට් අලෙවිසැලකට ගිණි තබා ඇත.

2017.05.24 නාවින්න හාකොර්ට්ස් ෆාමසියට ප්‍රහාරයක් එල්ල වී ඇත.

රජිත් කීර්ති තෙන්නකෝන්
විධායක අධ්‍යක්ෂ
2017 මැයි මස 25 වැනිදා

Thank you Rajith Keerthi Tennakoon

Share this:

Post a Comment

 
Copyright © 2022 Al Jazeera Lanka. Template Designed by Themes - Videopiar