BREAKING NEWS

“මදුරුවන් බෝවන පරිශ්‍ර හිමියන්ට නීතිය තදින්ම ක්‍රියාත්මක කරන්න...“ - අමාත්‍ය ෆයිසර් මුස්තෆා




“මදුරුවන් බෝවන පරිශ්‍ර හිමියන්ට නීතිය තදින්ම ක්‍රියාත්මක කරන්න...“ - අමාත්‍ය ෆයිසර් මුස්තෆා
ඩෙංගු ඇතුළු වෙනත් මදුරුවන් බෝවන පරිශ්‍ර වල හිමියන්ට එරෙහිව නීතිය තදින්ම ක්‍රියාත්මක කරන ලෙස, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය, ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තෆා මහතා අදාළ නිලධාරීන්ට නියෝග කළා. ඒ පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශ ශ්‍රවණාගාරයේ අද පැවති රැස්වීමකදීයි. මේ දිනවල කොළඹ දිස්ත්‍රික්කයේ සීඝ්‍රයෙන් වර්ධනය වන ඩෙංගු රෝගය මර්දනය කිරීමට ගත හැකි දීර්ඝ කාලීන සහ කඩිනම් ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡා කිරීමට,මේ රැස්වීම කැඳවා තිබුණා. අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති රැස්වීමට අමාත්‍යංශයේ වැඩබලන ලේකම් එස්. ඩී. ඒ. බී. බොරලැස්ස මහතා ඇතුළු අමාත්‍යංශයේ ඝන අපද්‍රව්‍ය  කළමනාකරණ ඒකකයේ නිලධාරීන්, සෞඛ්‍ය හා පෝෂණ අමාත්‍යංශයේ ඩෙංගු රෝගය පිළිබඳ ජාතික සම්බන්ධීකාරක විශේෂඥ වෛද්‍ය හසිත තිසේරා මහතා ඇතුළු නිලධාරීන්, දෙහිවල ප්‍රාදේශීය ලේකම් සහ දෙහිවල මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා සහභාගී වී සිටියා.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය, ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තෆා මහතා, “ඇතැම් පුද්ගලයින් ආත්මාර්ථකාමීව කටයුතු කිරීමෙන් ඩෙංගු රෝගය වර්ධනය වෙලාසමස්ත සමාජයම පීඩාවට පත්වනවා. බස්නාහිර පළාතේ, කොළඹ දිස්ත්‍රික්කයේ තමයි වැඩිපුරම ඩෙංගු රෝගීන් වාර්තා වෙලා තියෙන්නේ. එයිනුත් දෙහිවල - ගල්කිස්ස නාගරික බල ප්‍ර දේශයේ පහුගිය කාලේ ඩෙංගු රෝගයේ සීඝ්‍ර වර්ධනයක් දක්නට ලැබෙනවා. සෞඛ්‍ය අමාත්‍යංශයේ වාර්තා වලිනුත් ඒ බව තහවුරු වෙලා තියෙනවා. ඒ නිසා දෙහිවල - ගල්කිස්ස ප්‍රදේශයේ ඩෙංගු රෝගය කඩිනමින් මර්දනය කරන්න, සෞඛ්‍ය අමාත්‍යංශය, මගේ අමාත්‍යංශය සහ දෙහිවල - ගල්කිස්ස මහ නගර සභාව සහ අදාළ අංශ එකතුවෙලා නියමු ව්‍යාපෘතියක් පටන්ගන්න මම උපදෙස් දෙනවා. මේ ගැටළුව පිළිබඳව මහජනතාව දැනුවත් කරන්න ඕන.
පාසල් සිසුන් දැනුවත් කරන්න ඕන. ඒ වගේම ජන මාධ්‍ය වලට විශාල වගකීමක් තියෙනවා මේ පිළිබඳව ජනතාව දැනුවත් කරන්න. අපි බලාපොරොත්තුවෙනවා ඉදිරි දිනවලදී මේ ගැටළුව සමාජගත කරලා ඩෙංගු රෝගය අවම කරන්න.
 ඒ වගේම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ වගකීම තමයි මදුරුවන් බෝවන පරිශ්‍ර පවත්වාගෙන යන පුද්ගලයන්ට එරෙහිව ඔවුන්ගේ තරාතිරම නොබලා නීතිය තදින්ම ක්‍රියාත්මක කිරීම.නිවාස සහ පාසල් වලට අමතරව ඉදිකිරීම් ස්ථාන වල ඩෙංගු මදුරුවන් බෝවීම වැඩියි කියලා සෞඛ්‍ය අමාත්‍යංශයේ නිරීක්ෂණ වලින් හෙළිවෙලා තියෙනවා. ඒ නිසා පළාත් පාලන ආයතන නිවාස හෝ ගොඩනැගිලි ඉදිකිරීම් සැලසුම් අනුමත කරන කොට ඒ පිළිබඳව උපදෙස් ලබාදෙන්න ක්‍රමවේදයක් සකස් කරනවා. එවැනි වානිජ කටයුතු කරනකොට සමාජය ගැනත් හිතන්නත ඕන. දැනට එවැනි ඉදිකිරීම් පරිශ්‍ර පවත්වාගෙන යන අයගේ අවසර අත්හිටුවන්න මම උපදෙස් දෙනවා. ඒ වගේම මදුරුවන් බෝවන ඉදිකිරීම් පරිශ්‍ර හිමියන්ගේ දඩය වැඩිකරන්නත් මම කටයුතු කරනවා...“
තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, “ඩෙංගු රෝගය මර්දනය කරන්න අවශ්‍ය උපරිම සම්පත් මගේ අමාත්‍යංශයෙන් ලබාදෙනවා. දෙහිවල - ගල්කිස්ස මහ නගර සභාවට කසළ ධාරිතාව අඩු කිරීමට භාවිතා කරන මැෂින් එකක අවශ්‍යතාව මේ රැස්වීමේදී පෙන්වාදුන්නා. මගේ අමාත්‍යංශය එය ලබාදෙනවා. ඒ වගේම කසළ ප්‍රතිචක්‍රීකරණයට පුද්ගලික ආයතන සමග ඉදිරියේදී සාකච්ඡා කරන්න මම බලාපොරොත්තුවෙනවා. ඉදිරියේදී ක්ෂණික වැටලීම් කරලා නීතිය ක්‍රියාත්මක කරන්න. මාස තුනකින් මට මේ පිළිබදව වාර්තාවක් ලබාදෙන්න...“
සෞඛ්‍ය හා පෝෂණ අමාත්‍යංශයේ ඩෙංගු රෝගය පිළිබඳ ජාතික සම්බන්ධීකාරක විශේෂඥ වෛද්‍ය හසිත තිසේරා මහතා ද රැස්වීමේදී අදහස් පළකළා. “මේ වසරේ ඩෙංගු රෝගීන් 16,110 ක් වාර්තා වෙලා තියෙනවා. ඉන් 53% ක් බස්නාහිර පළාතේ. 35% ක් කොළඹ දිස්ත්‍රික්කයේ. ඒ වගේම පසුගිය වසර 10 තුළ වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාව වාර්තා වෙලා තියෙන්නෙත් කොළඹ දිස්ත්‍රික්කයෙන්. කොළඹ නාගරික බල ප්‍රදේශයට අමතරව, ජන ඝනත්වය වැඩි දෙහිවල - ගල්කිස්ස, රත්මලාන, නුගේගොඩ යන ප්‍රදේශ වලින් රෝගීන් වැඩි සංඛ්‍යාවක් වාර්තා වෙලා තියෙනවා. ඉවතලන භාජන වලින් තමයි වැඩිපුරම(40% ක් පමණ) මදුරුවන් බෝවන්නේ.  25% ක් පමණ ඉවතලන ටයර් වලින්. 20% ක් පමණ ජල ටැංකි වලින්. 15% ක් පමණ නිවෙස් වල වතුරු රැස්කරන භාජන වලින්. නිවාස වලට අමතරව මදුරුවන් බෝවීම වැඩි ස්ථාන ලෙස, පාසල්, ඉදිකිරීම් පරිශ්‍ර, ආගමික ස්ථාන සහ පොදු ස්ථාන හඳුනාගෙන තියෙනවා.  කෙසේ වෙතත් මේ වනවිට ඩෙංගු මරණ අනුපාතය රෝගීන් 1,000 කට, 0.1 දක්වා අඩුකරගෙන තිබෙනවා. මේ අනුපාතය තවදුරටත් අඩුකිරීම සහ රෝගීන් සංඛ්‍යාව 50% කින් පමණ අඩු කිරීම තමයි සෞඛ්‍ය අමාත්‍යංශයේ ඉලක්කය. මේ සඳහා ප්‍රධාන වශයෙන් කළ යුතු කාර්යයන් තුනක් වනවා.
01.  ජලය කළමනාකරණය
02.  ඉවතලන අපද්‍රව්‍ය කළමනාකරණය සහ
03.  ඉදිකිරීම් පරිශ්‍ර කළමනාකරණය





සෞඛ්‍ය අමාත්‍යංශය කොළඹ දිස්ත්‍රික්කයේ නිවාස 1,500 ක කළ පර්යේෂණයකදී හෙළිවුණා, ඉන් 90% ක් පමණ නිවාස වල මදුරුවන් ඇතුල්වීම වළක්වන්න උත්සහ කරලා නෑ. 50% ක් පමණ නිවාස වල මදුරුවන් බෝවන ස්ථාන සොයාබලන්නේ නෑ කියලා. ඩෙංගු රෝගය සම්බන්ධයෙන් සමාජයේ 10% ක පමණ චර්යාත්මක වෙනසක් අතිවෙලා නෑ. ඒ අයට විරුද්ධව තමයි නීතිය ක්‍රියාත්මක කළ යුත්තේ. මේ වෙනකොට පළාත් පාලන ආයතන වලට නිත්‍ය කාර්ය මණ්ඩලයක් අනුමත වෙලා තියෙනවා මදුරුවන් බෝවන ස්ථාන හදුනාගැනීමේ කේෂ්ත්‍ර නිලධාරීන් ලෙස. ඒ වගේම පළාත් පාලන ආයතන වල ප්‍රජා වෛද්‍ය ඒකකයක් ජාතික මට්ටමින් පිහිටුවන්න සැලසුම් කරලා තියෙනවා. ඩෙංගු රෝගය වැළැක්වීමට එන්නත් භාවිතා කිරීමේ හැකියාව පිළිබඳව මේ වනවිට පරීක්ෂණ කරගෙන යනවා...“
මදුරුවන් බෝවන ස්ථාන වල හිමිකරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ හැකි අවස්ථා පහක් පිළිබඳව ද විශේෂඥ වෛද්‍ය හසිත තිසේරා මහතා සඳහන් කළා.
01.  බෝවන රෝග වැළැක්වීමේ පනත මඟින්, කිසියම් පරිශ්‍රයක් තුළ වසංගත රෝගයක් ඇතිවීමේ අවධානමක් ඇත්නම්, මහෙස්ත්‍රාත් අධිකරණයේ නඩුවක් පවරා දඩයක් සහ සිරගත කිරීමක් සිදුකළ හැකිය.
02.  මහජන පීඩාකාරී පනත මඟින්, මහජනතාවට පීඩාවක් සිදුවන ආකාරයෙන් කිසියම් පරිශ්‍රයක් පවත්වාගෙන යන්නේ නම් අධිකරණයට ඉදිරිපත් කර දඩයක් නියම කළ හැකිය.
03.  2007 මදුරුවන් බෝවීම වැළැක්වීමේ පනත මඟින්, කිසියම් ප්‍රදේශයක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරියා විසින් මදුරුවන් බෝවන පරිශ්‍රයක් හඳුනාගෙන, එම පරිශ්‍රය පිරිසිදු කිරීමට එහි හිමිකරුට සතියක පමණ කාලයක් ලබාදී, එය සිදු නොවුනහොත් අධිකරණයට ඉදිරිපත් කර රුපියල් 25,000.00 දඩයක් නියම කළ හැකියි. එම වරදට දෙවැනි වර අදාළ පුද්ගලයා හසුවුවහොත් අධිකරණයට ඉදිරිපත් කර රුපියල් 50,000.00 ක් සහ සිරදඩුවමක් නියම කළ හැකිය.
04.  2012 බස්නාහිර පළාත් සභාවේ සම්මත කළ ආඥා පනත අනුව, මදුරුවන් බෝවන පරිශ්‍රයක් පවත්වාගෙන යන පුද්ගලයෙකුට එරෙහිව, අදාළ සෞඛ්‍ය බලධාරියාට ඒ අවස්ථාවේම දඩයක් නියම කළ හැකිය.

05.  කිසියම් පරිශ්‍රයක් සෞඛ්‍යාරක්ෂිත නොවන ආකාරයෙන් පවත්වාගෙන යන පුද්ගලයෙකු, පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ හැකිය.

Share this:

Post a Comment

 
Copyright © 2022 Al Jazeera Lanka. Template Designed by Themes - Videopiar