පළාත් පාලන මැතිවරණ සංශෝධනය


මෙරට මෑතකාලීන මැතිවරණ ඉතිහාසය දෙස නැවත හැරී බලන විට ඒ තුළ මනාප සටන් මුල් කර ගත්  ගැටුම්කාරී දේශපාලන පොර පිටි පිහිටුවූවා මිස සම්මුතිවාදී සාධාරණ හා සාමකාමී මැතිවරණ පැවැත්වූ අවස්ථා ඉතාමත් විරලය.  සමානුපාතික නියෝජන ක්‍රමය යටතේ මැතිවරණය පැවැත්වූ සෑම අවස්ථාවකදීම මනාප ලබා ගැනීම වෙනුවෙන් විවිධ දේශපාලන පක්ෂ අතර දිස්ත්‍රික්කය පුරා ඇතිවුණු ගැටුම් අභිබවා එකම පක්ෂයේ අපේක්ෂකයින්, ආධාරකරුවන් අතර නිර්මාණය වූ ගැටුම්, ඡන්ද නීති උල්ලංඝනය කිරීම සඳහා පෙළඹවීම්, නීතිය ක්‍රියාත්මක කිරීමට බාධා පැමිණවීම්, රාජ්‍ය හා පෞද්ගලික සම්පත් විනාශවීම්, ජීවිත හානි මෙන්ම ඡන්ද දායකයාට නිදහසේ ස්වකීය ඡන්ද අයිතිය ක්‍රියාවට නැංවීමට බාධා ඇතිවීම් සුලබව දක්නට ලැබුණි. විශේෂයෙන්ම අතිවිශාල අපේක්ෂක සංඛ්‍යාවක් තරඟ කරන්නා වූ පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් වලදී මෙම තත්ත්වය නොසලකා හැරිය නොහැකි තරමට වර්ධනය වී පැවති බව පසුකාලීන අත්දැකීම් අනුව පැහැදිලි විය.
සමානුපාතික නියෝජන ක්‍රමයේ මෙකී අඩුපාඩු මඟහරවාලමින් අසූව දශකය දක්වා මෙරට ක්‍රියාත්මක වූ කොට්ඨාස ක්‍රමයේ සාධනීය ලක්ෂණද මුසු කරමින් නව මැතිවරණ ක්‍රමයක් මෙරටට හඳුන්වා දුන් නව පළාත් පාලන ආයතන මැතිවරණ ක්‍රමය 2012 අංක 21 දරන පළාත් පාලන ආයතන විශේෂ විධිවිධාන පනත හා 2012 අංක 22 දරන පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් සංශෝධන පනත පාර්ලිමේන්තුවේ ඒකමතිකව සම්මත කර ගැනීමෙන් අනතුරුව, හිටපු පළාත් පාලන සහ පළාත් සභා අමාත්‍යවරයා විසින් පනතේ ක්‍රියාත්මක දිනය, 2013 ජනවාරි 01 දින ලෙස රජයේ අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කිරීමත් සමඟ, එදින සිට එය පළාත් පාලනය සඳහා මෙරට ක්‍රියාත්මක මැතිවරණ ක්‍රමය බවට පත් විය. කොට්ඨාස ක්‍රමය පදනම් කරගත් මිශ්‍ර මැතිවරණ ක්‍රමයක් වු නව මැතිවරණ ක්‍රමය මඟින් පළාත් පාලන බල ප්‍රදේශය කොට්ඨාස වලට බෙදා ඒ ඒ කොට්ඨාස නියෝජනය කිරීම සඳහා පළාත් පාලන ආයතන බල ප්‍රදේශය තුළ සිටින තමන්ට වඩාත් සමීප වූ අපේක්ෂයෙකු ප්‍රදේශයේ පළාත් පාලන ආයතනය සඳහා තම නියෝජිතයා ලෙස පත්කර යැවීමේ හැකියාව ජනතාව වෙත ලබා දී ඇත.
එහිදී 70 දශකය අවසානය දක්වා ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වූ කොට්ඨාස ක්‍රමයේ අඩුපාඩු මඟහරවාලීම උදෙසා නියෝජනයක් නොලබන ඡන්ද දායකයින් වෙත නියෝජනයක් ලබා දීමේ අපේක්ෂාවෙන් පරාජය වූ ඡන්ද සඳහා  අනුපාත ක්‍රමයට, කොට්ඨාස සඳහා තේරී පත් වූ අපේක්ෂක සංඛ්‍යාවෙන් 30% ක ප්‍රතිශතයක් ලබා දීම මෙම මිශ්‍ර ක්‍රමයේ කැපී පෙනෙන ලක්ෂණයකි. මෙලෙස අනුපාත ක්‍රමය මත නියෝජනය ලබා දීමේදී අදාල පළාත් පාලන ආයතන බල ප්‍රදේශය තුල ජයග්‍රාහී අපේක්ෂකයින් ලබාගත් ඡන්ද සහ 5% අඩු ඡන්ද සංඛ්‍යාවක් ලබාගත්  අපේක්ෂකයින්ගේ ඡන්දවල එකතුව එකී පළාත් පාලන ආයතන බල ප්‍රදේශය සඳහා වූ වලංගු ඡන්ද සංඛ්‍යාවෙන් ඉවත්කළ විට ලැබෙන අවශේෂ අපේක්ෂකයින් ලබාගත් ඡන්ද සංඛ්‍යාව මත එම පළාත් පාළන ආයතනය සඳහා අනුපාත ක්‍රමය යටතේ හිමිවන නියෝජිතයින් සංඛ්‍යාව තීරණය වනු ඇත. මෙහිදී අවශේෂ අපේක්ෂකයින් ලබා ගන්නා ලද ඡන්ද ප්‍රමාණය ජයග්‍රාහී අපේක්ෂකයින් ලබා ගන්නා ලද ඡන්ද ප්‍රමාණයේ අනුපාතයක් ලෙස ගත් කළ එම අනුපාතය 30% වඩා වැඩිවන අවස්ථා වලදී ඔවුන් වෙනුවෙන් හැම විටම අනුපාත ක්‍රමය මත හිමිවන 30% ක් වූ මුළු ආසන සංඛ්‍යාවම හිමිවන අතර එම සංඛ්‍යාවේ ප්‍රතිශතය 30% ට වඩා අඩු වන අවස්ථාවක අනුපාත ක්‍රමය මත හිමිවන ආසන සංඛ්‍යාව එම ඡන්ද ප්‍රතිශතයේ ප්‍රමාණය අනුව තීරණය වනු ඇත. එබැවින් පරාජය වන අපේක්ෂකයින් වුවද ඔවුන් වැඩි ඡන්ද ප්‍රතිශතයක් ලබා ගැනීමට සමත් වන්නේනම් එකී පක්ෂය හෝ ස්වාධීන කණ්ඩායම සඳහා මෙම අනුපාත ක්‍රමය යටතේ නියෝජිතත්වය තහවුරු කර ගැනීම සඳහා  අවස්ථාව හිමි වනු ඇත.  මෙම නව ක්‍රමය යටතේ පළාත් පාලන අමාත්‍යවරයා විසින් කොට්ඨාස නීර්ණය කිරීම සඳහා ජාතික සීමා නීර්ණය කමිටුවක් පත් කිරීමට නියමිත වූ අතර ඊට සහාය දැක්වීම සඳහා දිස්ත්‍රික් ලේකම්වරයාගේ සහභාගීත්වයෙන් යුතු දිස්ත්‍රික් සීමා නීර්ණය කමිටුවක් පත් කිරීමට නියමිත විය. සාමාජිකයින් පස් දෙනෙකුගෙන් සමන්විත වන ජාතික සීමා නීර්ණය කමිටුව දිස්ත්‍රික් කමිටු මඟින් ලබා දෙන නිර්දේශයන්ද පදනම් කොට ගෙන කොට්ඨාස සංඛ්‍යාව තීරණය කිරීම, ඒවායේ සීමා නීර්ණය කිරීම, කොට්ඨාස නම් කිරීම් පිළිබඳව අමාත්‍යවරයා මඟින් ජනාධිපතිවරයා වෙත නිර්දේශ ඉදිරිපත් කිරීම සිදු කළ යුතු විය. මෙහිදී කොට්ඨාස නීර්ණය කිරීම සඳහා පළාත් පාලන බල ප්‍රදේශයේ ජනවාර්ගික ජනගහන අනුපාතය, භූගෝලීය ප්‍රදේශය, ජනගහනය හා ජනඝනත්වය, ආර්ථික සංවර්ධන මට්ටම යන නිර්ණායක පාදක කොට ගත යුතු විය.
ඉදිරි පළාත් පාලන මැතිවරණය නව දෙමුහුන් ක්‍රමය යටතේ පැවැත්වීම සඳහා අදාළ කරගත යුතු මෙකී ක්‍රියාවලිය මේ වන විට අවසන් වී ඇති අතර එලෙස නීර්ණය කරන ලද කොට්ඨාස සම්බන්ධව ඉදිරිපත් වී ඇති මහජන විරෝධතාවයන් සලකා බැලීම සඳහා මා විසින් විශේෂ කමිටුවක් පත් කර ඇත. මෙම නව ක්‍රමය තුළ  කොට්ඨාස සඳහා එක් පක්ෂයකින් එක් අපේක්ෂකයෙකු හෝ ස්වාධීන කණ්ඩායමකින් එක් අපේක්ෂකයෙකු පමණක් ඉදිරිපත් වීම සඳහා ප්‍රතිපාදන සැලසී ඇති අතර ඒ අනුව මනාප උදෙසා තරඟ වැදීමේ අවශ්‍යතාවයක්ද, ඒ සඳහා අනවශ්‍ය ලෙස මුදල් වැය කිරීමේ අවශ්‍යතාවයක්ද පැන නොනැගෙනු ඇත. නව සංශෝධන පනත ප්‍රකාර පළාත් පාලන ආයතන සඳහා නගරාධිපති සහ නියෝජ්‍ය නගරාධිපති තෝරා පත් කර ගැනීමේදී පිළිගත් දේශපාලන පක්ෂයක් හෝ ස්වාධීන කණ්ඩායමක් පළාත් පාලන ආයතනයේ ආසන ප්‍රමාණයෙන් 50% කට වඩා ජයග්‍රහණය කර ඇති අවස්ථාවකදී අදාළ දේශපාලන පක්ෂයේ ලේකම්වරයාට හෝ ස්වාධීන කණ්ඩායමේ නායකයාට නගරාධිපති සහ නියෝජ්‍ය නගරාධිපතිවරයා පත් කිරීමේ බලය හිමිවන අතර කිසිදු පක්ෂයක් හෝ ස්වාධීන කණ්ඩායමක ආසන සංඛ්‍යාවෙන් 50% කට වඩා වැඩි ආසන සංඛ්‍යාවක් ලබා නොමැති අවස්ථාවන් වලදී සභිකයින්ගේ ඡන්දයෙන් නගරාධිපතිවරයා සහ නියෝජ්‍ය නගරාධිපතිවරයා තෝරා පත් කර ගැනීම සඳහා ප්‍රතිපාදන සලසා ඇත.
නව මැතිවරණ ක්‍රමයත් සමඟ  හදුන්වාදුන් 2012 අංක  21 දරන පළාත් පාලන ආයතන (විශේෂ විධිවිධාන) පනත මඟින් පළාත් පාලනය උදෙසා හදුන්වාදෙන තවත් සුවිශේෂ ප්‍රතිපාදනයක් ලෙස පළාත් පාලන ආයතනයේ අයවැය සම්බන්ධයෙන් ඇතුළත් කර  ඇති විධිවිධාන පෙන්වා දිය හැකිය. එතුළින් හඳුන්වා දී ඇති පළාත් පාලන ආයතන අයවැය සම්බන්ධව ඉදිරියේදී ක්‍රියාත්මක වීමට නියමිත ප්‍රතිපාදනය මින් පෙර පැවති සමානුපාතික නියෝජන ක්‍රමය යටතේ ක්‍රියාත්මක වූ අයවැය කෙරෙහි අදාළ වූ නීතිමය ප්‍රතිපාදන වලින් සපුරා වෙනස් වූ ප්‍රතිපාදනයකි. මෙතෙක් අදාළ පළාත් පාලන ආයතනයේ නගරාධිපති හෝ සභාපති සතුව අයවැය සම්බන්ධව පැවති අසීමිත බලය මෙමඟින් ඉවත් කොට ඇති අතර, එහිදී පළාත් පාලන ආයතනයේ නිල කාල සීමාව ආරම්භවී වසර දෙකකින් ඉක්බිතිව සභාව වෙත දෙවන වරටත් ඉදිරිපත් කරනු ලබන අයවැය ලේඛනයක් පරාජය වූ අවස්ථාවකදී අදාළ නගරාධිපති හෝ සභාපති ඉල්ලා අස් වූවා ලෙස සැලකීම සඳහා නව ප්‍රතිපාදන සලසා ඇත. තවද ඉන් අනතුරුව පත්වන නගරාධිපති හෝ සභාපතිවරයා අයවැය පරාජය වුවහොත් අදාළ පළාත් පාලන ආයතනය විසිරුවා හැරියා සේ සලකා එම ආයතනයේ පරිපාලන කටයුතු විශේෂ කොමසාරිස්වරයෙකුගේ භාරයට පත් කිරීමට මෙම පනත් සංශෝධන තුළින්  වැඩිදුරටත් ප්‍රතිපාදන සලසා ඇත.
හුදෙක් පරිපාලනමය රාජ්‍ය යාන්ත්‍රනයක් ලෙස පමණක්ම ක්‍රියාත්මක නොවිය යුතු පළාත් පාලනය ජනතාවගේ ප්‍රජාතාන්ත්‍රවාදී අයිතිවාසිකම් තහවුරු කරන, ජනතා අභිලාසයන් ඉටු කරන ජනතාවට සමීපතම නියෝජිතයින්ගෙන් හෙබවිය යුතු ජනතාවාදී ආණ්ඩුවකි. ඒ අනුව කාලීන අවශ්‍යතාවයන් සපුරාලමින් පාර්ලිමේන්තුවේ ඒකමතිකව සම්මත වූ නව මැතිවරණ ක්‍රමය ඉදිරියේදී මෙරට ජනතාවට වඩාත් සමීප වූ ජනතාවාදී පළාත් පාලන ආයතන පද්ධතියක් බිහිකිරීම උදෙසා අඩිතාලමක් වනු ඇත.

ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තෆා (පා.ම.)

පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය

Comments

Popular posts from this blog

பெட்ரோல், பொருட்க‌ள் விலை அதிக‌ரிப்புக்கு முஸ்லிம்க‌ள் அல‌ட்டிக்கொள்ள‌ தேவையில்லை.

தற்கொலைதாரி இப்ராஹிமின் கொலோசியஸ் நிறுவனத்துக்கு செம்பு பித்தளைகளை வழங்கினார் என்ற ஒரு குற்ற சாட்டையே ரிஷாட் கைதுக்கு காரணமாக கூறுகின்றனர்