Saturday, February 23, 2019

කරුවලගස්වැව සහ නවගත්තේගම ප්‍රා.ලේ. කාර්යාල නව ගොඩනැගිලි අගමැති සුරතින් 22 දා ජනතා අයිතියට








කරුවලගස්වැව සහ නවගත්තේගම ප්‍රා.ලේ. කාර්යාල නව ගොඩනැගිලි අගමැති සුරතින් 22 දා ජනතා අයිතියට 

·        කරුවලගස්වැව ප්‍රාදේශීය ලේකම් කාර්යාල ගොඩනැගිල්ල ලක්ෂ  572

·        නවගත්තේගම ප්‍රාදේශීය ලේකම් කාර්යාල ගොඩනැගිල්ල ලක්ෂ  696

·        ඉතා කෙටි කලකින් වැඩ අවසන් කරයි

රාජ්‍ය සේවය වඩාත් කාර්යක්ෂම හා විධිමත් කිරීමේ රාජ්‍ය ප්‍රතිපත්තිය සහ ප්‍රදේශීය ලේකම් කාර්යාල නවීකරණය කිරීමේ වැඩසටහන යටතේ පුත්තලම දිස්ත්‍රික්කයේ ඉදිකරන ලද නව ගොඩනැගිලි දෙකක් ජනතා අයිතියට පත්කිරීම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මේ මස 22 දින සිකුරාදා  සිදු කිරීමට නියමිතය.

අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය වජිර අබේවර්ධන මහතාගේ මෙහෙයවීමෙන් කරුවලගස්වැව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සහ නවගත්තේගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙනුවෙන් මෙම ගොඩනැගිලි දෙක ඉදිකර ඇත.

කරුවලගස්වැව ප්‍රාදේශීය ලේකම් කාර්යාල තෙමහල් ගොඩනැගිල්ල රුපියල් ලක්ෂ 572ක වියදමින් ඉදිකර ඇති අතර 2016 සැප්තැම්බර් 14 දින මුල්ගල තබා ඉදිකිරීම් කටයුතු ආරම්භ කර ඇත.

එදිනම ජනතා අයිතියට පත්කිරීමට නියමිත රුපියල් ලක්ෂ 696ක වියදමින් ඉදිකළ නවගත්තේගම ප්‍රාදේශීය ලේකම් කාර්යාල තෙමහල් ගොඩනැගිල්ල සඳහා මුල්ගල තබා ඉදිකිරීම් කටයුතු ආරම්භ කළේ 2017 ජුලි 24 වැනි දිනය.

මෙම ගොඩනැගිලි මුල්ගල් තබා වැඩ ආරම්භ කර ඉතා කෙටි කාලයකින් වැඩ අවසන් කිරීමට හැකිවූ බව අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පවසයි.

කරුවලගස්වැව සහ නවගත්තේගම ප්‍රාදේශීය ලේකම් කාර්යාල ගොඩනැගිලිවල විශේෂත්වය වන්නේ වාහන නැවැත්වීමේ පහසුකම්වලින් ද සමන්විතව ඉදිකර තිබීමය. එමෙන්ම අංගසම්පූර්ණ ශ්‍රවණාගාර ද මෙම ගොඩනැගිලිවල ඉදිකර ඇති අතර ගොඩනැගිලි සහ එහි කාර්ය මණ්ඩලය සඳහා අවශ්‍ය සියලු උපකරණ ද අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය මගින් ලබාදෙයි.



අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ දිවයින පුරා ප්‍රාදේශීය ලේකම් කාර්යාල හා දිස්ත්‍රික් ලේකම් කාර්යාල මගින් ජනතාවට ඉතා විශාල සේවයක් සිදුකළ ද ඇතැම් කාර්යාල ඉතා අඩු පහසුකම් සහිත ප්‍රමාණවත් තරම් ඉඩක් නොමැති ස්ථාන බවට පත්ව තිබීම හේතුවෙන් එම සේවය කාර්යක්ෂමව සිදුකිරීමේ යම් යම් ගැටලු ඇතිවන බවයි. එබැවින් ශ්‍රී ලංකාවේ සියලුම දිස්ත්‍රික් ලේකම් කාර්යාල හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල භෞතික වශයෙන් වැඩිදියුණු කිරීම රජයේ ඉලක්කයක් බව ද අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පවසයි.



මෙම අවස්ථාවන් සඳහා පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු හා පළාත් සභා මැතිඇමැතිවරු ඇතුළු නගරාධිපතිවරු, සභාපතිවරු, විපක්ෂ නායකවරු සහ මන්ත්‍රීවරු සහභාගිවීමට නියමිතය.

No comments:

Post a Comment