Monday, July 11, 2016

“සති දෙකකින් වීදි චිත්‍ර ශිල්පීන්ට හැඳුනුම්පතක්“ - අමාත්‍ය ෆයිසර් මුස්තෆා


කොළඹ, විහාරමහාදේවී උද්‍යානය අසළ වීදි චිත්‍ර ශිල්පීන්ට සති දෙකකින් හැඳුනුම්පතක් ලබාදෙන ලෙස, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය, ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තෆා මහතා අද කොළඹ නාගරික කොමසාරිස් වී. කේ. අනුර මහතාට උපදෙස් දුන්නා. ඒ අද පෙරවරුවේ කොළඹ, විහාරමහාදේවී උද්‍යානය අසළ නිර්මාණකරණයේ යෙදෙන චිත්‍ර ශිල්පීන් සමඟ සාකච්ඡාවකට එක්වෙමින්. මේ සාකච්ඡාවට පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශයේ ලේකම් කමල් පද්මසිරි මහතා ඇතුළුවසංචාරක අමාත්‍යංශය, සංස්කෘතික අමාත්‍යංශය සහ උසස් අධ්‍යාපන අමත්‍යංශයේ නිලධාරීන් එක්ව සිටියා.
මෙම සාකච්ඡවේදී අදහස් දැක්වූ, කොළඹ වීදි චිත්‍ර ශිල්පීන්ගේ සංගමයේ ලේකම් විශවජිත් යසාරා මහතා, “දෙවන වරටත් ෆයිසර් මුස්තෆා මහතා අපේ කලාකරුවන් වෙනුවෙන් ඉදිරිපත් වීම ගැන ඉතාම සතුටුදායකයි. 2002 ආරම්භ කරපු කොළඹ වීදි චිත්‍ර ශිල්පීන්ගේ සංගමයේ මේ වනවිට සමාජිකයින් 65 ක් පමණ සිටිනවා. අපිට කඩිනමින් විසඳුම් ලබාගත යුතු ගැටළු කීපයක් තියෙනවා.
01.  අනන්‍යතාව තහවුරු කිරීමේ හැඳුනුම්පතක් ලබාගැනීම
02.  සංචාරක මඟ පෙන්වන්නන් අපි ගැන දැනුවත් කිරීම
03.  රාජ්‍ය ආයතන සමග කටයුතු කිරීමේදී පිළිගැනීමක් ඇතිකිරීම
04.  මාර්ගයේ පවතින උත්සව අවස්ථා වලදී බාධා වීම් වළක්වාගැනීම
05.  චිත්‍ර ගබඩා කරගැනීමට ස්ථානයක් ලබාගැනීම
06.  කලා මණ්ඩලයේ සමාජිකත්වය ලබාගැනීම
පිට පළාත් වලින් පැමිණ මේ මාර්ගයේ රාජකාරියේ යෙදෙන පොලිස් නිලධාරීන් අපි ගැන දන්නේ නැති නිසා, ගැටළු ඇතිවන අවස්ථා තියෙනවා. මේ ගැටළු විසඳලා අපේ මේ කර්මාන්තය දියුණු කරන්න උදව් කරන්න කියලා අපි පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යතුමාගෙන් ඉල්ලා සිටිනවා.“
සාකච්ඡාවේදී අදහස් දැක්වූ, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තෆා මහතා, “2007 මම සංචාරක අමාත්‍යවරයා විදියට මේ ස්ථානයට ඇවිල්ලා මේ චිත්‍ර ශිල්පීන්ගේ ගැටළු පිළිබඳව සාකච්ඡා කළා. නමුත් අවාසනාවකට මම ටික දවසකින් විද්‍යා හා තාක්ෂණ අමාත්‍යවරයා විදියට පත්වුණා. නමුත් මම පළාත්

 සභා සහ පළාත් පාලන අමාත්‍යවරයා විදියට, ගරු ජනාධිපතිතුමා සහ ගරු අගමැතිතුමා සමග මේ කලාකරුවන් පිළිබඳව සාකච්ඡා කළා. ගරු අගමැතිතුමා මට උපදෙස් දුන්නා මේ කලාකරුවන් සමග සාකච්ඡා කරලා, ඔවුන්ගේ ගැටළු විසඳන්න කියලා. ඒ අනුව තමයි අද මෙම සාකච්ඡාව සංවිධානය කෙරුණේ. මෙතනදී මම හඳුනාගත් ප්‍රධානම ගැටළුව තමයි මේ චිත්‍ර ශිල්පීන්ට හැඳුනුම්පතක් නොමැතිවීම. ඒ ගැටළුවට අපි සති දෙකකින් විසඳුම් ලබාදෙන්න තීරණය කළා. අපි ඔවුන්ට කොළඹ මහ නගර සභාවෙන් හැඳුනුම්පතක් නිකුත් කරනවා. ඒ වගෙම මම ඉල්ලා සිටිනවා ඒක අවභාවිතා කරන්න එපා කියලා. එමඟින් ගැටළු රාශියකට විසඳුම් ලැබෙනවා. ඊට අමතරව නිර්මාණ ගබඩා කරන්න ස්ථානයක් බොරැල්ල හෝ මරදාන ප්‍රදේශයෙන් ලබාදෙන්න පුළුවන් කියලා නාගරික කොමසාරිස්තුමා කිව්වා, සුළු මුදලක් අයකරලා, මොකද ඕනෑම දෙයක් නිකං දුන්නොත් අගයක් නැතිවෙනවා. ඒ වගේම සංචාරක අමාත්‍යංශයත් එක්ක සාකච්ඡා කරලා, මේ චිත්‍ර ශිල්පීන් ගැන සංචාරකයන් සහ මඟපෙන්වන්නන් දැනුවත් කරන්න වැඩසටහනක් අපි සකස් කරන්නම්. ඊට අමතරව තානාපතිවරුන්, මහ කොමසාරිස්වරුන් සහ මාධ්‍ය මඟින් මේ කලාකරුවන් පිළිබඳව දැනුවත් කිරීමේ ප්‍රචාරාත්මක වැඩසටහනක් ආරම්භ කරන්න බලාපොරොත්තුවෙනවා. කලා මණ්ඩලයේ සමාජිකත්වය ලබාගැනීමට මම අධ්‍යාපන අමාත්‍යතුමා සමග සාකච්ඡා කරන්නම්. මේ මාර්ගයේ උත්සව පැවැත්වෙනකොට නගර සභාවට පුළුවන් දැනුවත් කරන්න, මේ චිත්‍ර ශිල්පීන්ට බාධාවක් නොවන ආකාරයට ඒ උත්සව සංවිධානය කරන්න කියලා. හැම මාසෙකම අවසන් ඉරිදා, වීදි චිත්‍ර ශිල්පීන් එකතුවෙලා ප්‍රදර්ශනාත්මක වැඩසටහනක් කරන්න. ඒකට අවශ්‍ය පහසුකම් මම කොළඹ මහ නගර සභාව හරහා ලබාදෙන්නම්. ඊට අමතරව කොළඹ මහ නගර සභා සීමාව තුළ දැන්වීම පුවරු දෙකක් ඉදිකරන්න, බදු රහිතව ස්ථාන දෙකක් ලබාදෙන්නම්. නැවත අපි මේ තීන්දු තීරණ වල ප්‍රගතිය සාකච්ඡා කරන්න මෙතනදීම හමුවෙමු. මම ඉතාමත් සතුටුවෙනවා වීදි චිත්‍ර ශිල්පීන්ගේ මූලික සහ ප්‍රධාන ගැටළු විසඳන්න අද මැදිහත්වීමට හැකිවීම ගැන.“

වීදි චිත්‍ර ශිල්පීන්ගේ නිර්මාණ ප්‍රදර්ශනය සඳහා ජංගම අලෙවි සැලක් සකස් කිරීමට, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශයේ ලේකම් කමල් පද්මසිරි මහතා මෙහිදී චිත්‍ර ශිල්පීන්ට උපදෙස් දුන්නා. ඊට අමතරව ඔහු පැවසුවේ, මේ ස්ථානයට පැමිණෙන සංචාරකයින් සඳහා අවන්හලක් ඉදිකිරීම සඳහා, සංචාරක මණ්ඩලය සමග සාකච්ඡා කරන බවයි.

No comments:

Post a Comment